සාමයික සංහිඳියාව ප්‍රාර්ථනා කරමින් පාප්වහන්සේ ලක්බිමට සමුදෙති

සාමයික සංහිඳියාව ප්‍රාර්ථනා කරමින් පාප්වහන්සේ ලක්බිමට සමුදෙති


ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය 13 වැනිදා ඇරැඹූ සිය තෙදින නිල ගමන ඊයේ (15 වැනිදා) අවසන් කළහ. පෙරවරු 9.15ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලන්කන් A 340 – 30 විශේෂිත ගුවන් යානයකින් ඊළඟ නිල සංචාරයක නියැලෙන පිලිපීනය බලා නික්ම ගියහ. ජනපති, අගමැති, කාදිනල් හිමිපාණන් පාප් වහන්සේට සුබාසිරි පැතීමට එක්වෙමින් සහ පාප්වහන්සේ ශ්‍රී ලන්කන් විෙශ්ෂිත ගුවන් යානයේදී. උන්වහන්සේට සමුදීමේ උත්සවය ද ගාම්භීර ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු විසින් ගුවන් තොටුපොළේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ පිළිගෙන ප්‍රභූ අංගනය වෙත කැඳවා ගෙන යනු ලැබීය. මේ අවස්ථාවට මැති ඇමැතිවරුන් මෙන් ම වතිකාන නියෝජිත පිරිස ද ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ රාජගුරු මණ්ඩලය ද එක්වූහ. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරු මඬුල්ල ප්‍රමුඛ ප්‍රභූ පිරිසට සමුදීම අනතුරුව සිදු කෙරුණු අතර උන්වහන්සේ වෙත ත්‍රිවිධ හමුදාවේ ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි. පාසල් දරු දැරියන් කොඩි ලෙලවමින් පාප්වහන්සේට සුබාසිරි පැතූ අතර, නර්තන ශිල්පීහු ද රංගනයෙන් ‍මේ අවස්ථාවට එක්වූහ. ශ්‍රී ලංකාවේ සංචාරය කළ තුන්වැනි ශුද්ධෝත්තම පාප් වහන්සේ උන්වහන්සේ වන අතර, උන්වහන්සේට පෙර 1970 දෙසැම්බර් හතරවැනිදා හයවැනි පාවුළු පාප්වහන්සේ ද 1995 – ජනවාරි 20 – 21 දිනවල දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ද මෙරටට වැඩම කර තිබේ. උන්වහන්සේ මෙරටින් වැඩම කිරීමට පෙරේදා (14) සවස මන්නාරම, මරඳමඬු සිද්ධස්ථානයට ගොස් කොළඹට පැමිණීමෙන් පසුව, මාලිගාවත්ත අසූමහා ශ්‍රාවක විහාරස්ථානයට වැඩම කළ අතර, එහිදී සර්වඥ ධාතුන් වහන්සේ ද දැකබලා ගත්හ. මොනරාගල උපතිස්ස හිමිපාණන්ගේ ගෞරවණීය ආරාධනාව පරිදි එහි වැඩම කළ පාප් වහන්සේ බෞද්ධ විහාරස්ථානයකට වැඩම කළ දෙවැනි අවස්ථාව මෙය වේ. මෙයට පෙර තායිලන්තයේ පැවැති සංචාරයකදී ප්‍රැන්සිස් පාප් වහන්සේ එරට බෞද්ධ විහාරස්ථානයක් දැකබලා ගෙන තිබේ. සමස්ත ලෝකවාසී කිතුනු ජනතාවගේ ජීවමාන නායක එ‍ඬේරාණන් වන ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කිතුනු ලොවම පිළිගනු ලබන්නේ චාම් දිවි පැවැත්මක් ඇති දයාව සෙනෙහස උතුරා ගිය ලෝක නායකයාණන් ලෙසය. ශ්‍රී ලංකාවාසී කිතුනු බැතිමතුන් ප්‍රමුඛ ශ්‍රී ලාංකික ජනතාවට මේ දින තුන උන්වහන්සේ වෙත බුහුමන් දැක්වීමටත් උන්වහන්සේගේ ජීවන පැවැත්ම පිළිබඳ දැනුවත් වීමටත් ලැබූ මේ අවස්ථාව පැසැසුමට ලක් කරති. උන්වහන්සේ ශ්‍රී ලංකාවාසී ජනතාවට දැක්වූ විශේෂිත පණිවිඩය වූයේ සාමය සහජීවනය අගයන රටක් වෙත යොමු වන ලෙසයි.