විදෙස් අමාත්‍යාංශ නිලධාරිනියක් 'මඩු' ගමනට වැට බඳී

විදෙස් අමාත්‍යාංශ නිලධාරිනියක් ‘මඩු’ ගමනට වැට බඳී


අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් අද දින මඩු දේවස්ථානය වෙත සිදු කළ සංචාරයේ කිසිදු නිළ ඡායාරූපයක් මේ වන තෙක් නිල වශයෙන් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව වාර්තා වේ. ඒ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ලංකා සංචාරය සඳහා කොළඹ පිහිටි බිෂොප් මන්දිරය විසින් නිළ වශයෙන් පත් කර තිබූ ඡායාරූප ශිල්පියා සහ ජනාධිපති ඡායාරූප ශිල්පියා නොමැතිව මඩු සංචාරය සිදු වීම හේතුවෙන් බවයි අනාවරණය වෙන්නේ. තොරතුරු අනාවරණය වන පරිදි මඩු සංචාරය සඳහා කොළඹින් හෙළිකොප්ටර් තුනක් පිටත්ව ඇති අතර ඉන් එක් හෙළිකොප්ටරයක හිඳ ඇත්තේ එකී ඡායාරූප ශිල්පීන් දෙදෙනායි. කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිනියක පැමිණ ගුවන් හමුදා නිලධාරීන්ට දන්වා අතරමගදී එකී ඡායාරූප ශිල්පීන් දෙදෙනා නවතා එම හෙළිකොප්ටරයෙන් ඇය මඩු දේවස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙන බවටද තොරතුරු වාර්තා වේ. මේ අනුව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ශ්‍රී ලංකා සංචාරයේ සංවිධායක මණ්ඩලය පවසන්නේ අදාළ සිද්ධිය හේතුවෙන් අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මඩු දේවස්ථානයේ සිදු කළ සංචාරයේ නිළ ඡායාරූප මෙතක් නිකුත් කළ හැකි මට්ටමක නොපවතින බවය.