වකුගඩු ජාවාරම්කරුවන් වරද පිළිගනී


ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර සිදුව ඇතැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය තරුණයින් තිදෙනෙකු ඔවුන්ට එල්ල වූ චෝදනා දෙකක් සම්බන්ධයෙන් අධිකරණයේ දී අද වරද පිළිගත්තා. ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී අද විභාගයට ගැණුනු අවස්ථාවේදීයි.

වීසා නොමැතිව මෙරට රැඳී සිටීම සහ මිරිහාන රැඳවුම් කඳවුරෙන් පලා යාම ඔවුන්ට එල්ල වූ චෝදනායි.  වරද පිළිගත් ඉන්දියානු ජාතිකයින් තිදෙනාට වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් මෙහිදී නියම කෙරුණා. ඊට අමතරව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දඩයක් ද ගෙවන ලෙසයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මෙහිදී නියෝග කළේ.

මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අධිකරණයේ දී වරද පිළිගත්තේ නැහැ. ඔවුන් මාර්තු මස දෙවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා. කෙසේ වෙතත් මෙම සැකකරුවන්ට අදාළව වකුගඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කර තිබුණේ නැහැ.