රනිල් – මෝදි ගිවිසුම් අත්සන් තබයි


ඉන්දියන් සාගරයේ ආර්ථික, වෙළද, සමාජීය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා පූර්ණ සහය ලබා දෙන බව ඉන්දු ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරුන් අතර (26) පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනු ලබන වැඩපිළිවෙල වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර 26 දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

ඉන්දීය ආධාර යටතේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතීන්වල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහි දී අවධානය යොමුව තිබෙනවා.

හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සහයෝගීතා ක‍්‍රියාකාරකම් ඔස්සේ දෙරටේම ජනතාවට සමබර ප‍්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් වන ගිවිසුමකට ද මෙහි දී අත්සන් තැබුණා.

ද්‍රව ස්වභාවික වායු නිෂ්පාදනය, සූර්ය බලාගාර ස්ථාපිත කිරීම, ත‍්‍රීකුණාමල නගරය, වරාය හා ආර්ථික කළාප සංවර්ධනය පිළිබඳ කරුණු මෙම ගිවිසුමට ඇතුළත්. මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලුම් පර්යන්ත ආදි ක්ෂේත්‍ර ගණනාවක් ද ඊට ඇතුළත් බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.