යටත් විජිත කාලේ ලංකාව පාලනේ කරපු රජවරු සහ ‍රැජිණියෝ 5 දෙනෙක්


දැන් අපේ නිදහස් දිනේ ළං වෙනකොට සමහරු අහනවා ‘අපි ඇත්තටම නිදහස්ද’ කියලා. තව සමහරු කියනවා ‘සුද්දා අපෙන් නිදහස් වෙච්ච දවස තමයි මේක’ කියලා. ඔය හැම කතන්දරේම කියන්න හේතු වෙන්නේ 16 වෙනි සියවසේ ඉඳන් 1948 වෙනකල්ම අපි විදේශික ජාතීන් -හරියටම කිව්වොත් බටහිර ආක්‍රමණික රාජ්‍යයන් තුනක් යටතේ හිටපු නිසා තමයි. ඔයිට කලිනුත් අසල්වාසී රටෙන් ආපු ඩයල් ලංකාවේ එක එක කොටස් අල්ලගෙන ඉඳලා තියෙනවා. ඒත් අපි කතා කරන්නේ යටත් විජිත සමය කියලා අඳුන්වන පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන කාලයන් වල ඒ රටවල රාජත්වය කරපු රජවරු සහ ‍රැජිණියෝ ගැන තමයි.
1. ස්පාඤ්ඤයේ දෙවෙනි පිලිප් රජු
Source – wikipedia.org
ලොරෙන්සෝ ඩි අල්මේදා කොළොම්තොටට ගොඩබට නාවිකයා කියලා සිංදුවක් එහෙම අහලා තියෙනවනේ. කොහොම හරි මිනිහා ගල් කපටියා. වීදිය බණ්ඩාරගේ පුතා වුණු කෝට්ටේ ධර්මපාල රජ්ජුරුවන්ව රවට්ටලා පෘතුගාලේ රජ්ජුරුවන්ගේ අනුග්‍රහයෙන් දොන් ජුවන් ධර්මපාල කියලා බෞතීස්ම කරල ලංකාවේ පළවෙනි ක්‍රිස්තියානි රජ්ජුරුවෝ කරවනවා. ධර්මපාල රජ්ජුරුවන්ට දරුවෝ නැති නිසා, ප්ලෑන් එකේ විදියටම රජ්ජුරුවෝ මැරුණහම පෘතුගීසිකාරයන්ට රට යනවා. හරියටම කියන්න බැරි වුනත් මේ කාලේ පෘතුගාලේ රජ කරන්නේ දෙවෙනි පිලිප් රජතුමා කියලා තමයි හිතන්න පුලුවන් වෙන්නේ. ඔව් ඒ කාලේ ස්පාඤ්ඤය සහ පෘතුගාලය කියන රටවල් දෙකේම රජ කලේ එකම රජ කෙනෙක් තමයි.
2. පෘතුගාලයේ හය වෙනි අෆෝන්සෝ රජු
Source – wikipedia.org
හය වෙනි අෆොන්සෝ රජු පෘතුගීසී සිලෝනය ගැන කතා කරනකොට වැදගත් වෙන්නේ, ලංකාවේ පෘතුගීසි පාලනය අවසන් වුණේ මේ රජ්ජුරුවන්ගේ කාලේ වීම නිසා තමයි. එතකොට මේ රජුගේ කාලයේදීම තමයි ස්පාඤ්ඤය විසින් පෘතුගාලය නිදහස් රාජ්‍යයක් විදියට පිළිගත්තේත්. අෆෝන්සෝ රජුගේ කාලයේදී ලන්දේසීන් ඇවිත් පෘතුගීසි පාලනය යටතේ තිබුණු ලංකාවේ අන්තිම බලකො‍ටුව වුණු ජැෆ්නාපටම් හෙවත් යාපනය අල්ලගන්නවා. එතකොට ඔය දේශපාලන අවුල් වියවුල් සීන් එක්ක අෆොන්සෝ රජ්ජුරුවන්ගේ සහෝදරී වුණු බ්‍රගන්සා වල කැතරින් කුමරියව එංගලන්තේ දෙවෙනි චාල්ස් රජ්ජුරුවන්ට සරණ පාවා දෙනවා. එතකොට දෑවැද්දට දෙන්නේ පෘතුගාලය යටතේ තිබුණු බොම්බේ සහ ටැන්ජියර් බලකො‍ටු වල යටත් වීම. කොහොම හරි මේ හුටපට එක්ක ලංකාවේ පාලනය අෆෝන්සෝ රජ්ජුරුවන්ගේ කාලෙදී පෘතුගාලයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා.

3. බ්‍රිතාන්‍යයේ තුන්වෙනි ජෝර්ජ් රජු
Source – wikipedia.org
ලංකාවේ ඉංග්‍රීසි පාලනය ඇරඹෙන්නේත්, ලංකාවේ අවසාන රජතුමාව අල්ලාගන්නේත්, කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන්නේත් මේ තුන්වෙනි ජෝර්ජ් රජතුමාගේ කාලේදී තමයි. මීට කලිනුත් උඩරට අල්ලන්න ඉංග්‍රීසි සේනාවන් උත්සාහ කළාට සාර්ථක වුනේ නැහැනේ. හැබැයි 1815 පෙබරවාරි 14 වෙනිදා මේජර් මොෆට් යටතේ ආපු දෙවෙනි ඉංග්‍රීසි බල ඇණිය කන්ද උඩරට අගනුවර වෙච්ච සෙංකඩගල පුරවරය අල්ලාගන්නවා. කොහොම කොහොම හරි මේ වෙනකොට එක්නැලිගොඩ, ඇහැළේපොල ඇතුළු නිලමෙලා පිරිසකුත් රජ්ජුරුවන්ට ද්‍රෝහි වෙලා ඉංග්‍රීසීන්ට උදවු කරනවා රජ්ජුරුවන්ව අල්ලා ගන්න. අන්තිමට රජ්ජුරුවන්ව නිල වශයෙන් රාජත්වයෙන් පහ කරලා ඉංග්‍රීසීන් මුළු දිවයිනේම බලය අල්ලා ගන්නවා. ඉතින් මේ කටයුතු මෙහෙයවන්නේ ඉංග්‍රීසි කපිතාන්වරු සහ ඉහළ නිලධාරීන් වුනත්, මේ සියලුම කරුණු කාරණා සිද්ධ වෙන්නේ තුන්වෙනි ජෝර්ජ් රජ්ජුරුවන්ගේ නාමයෙන් තමයි.


4. වික්ටෝරියා ‍රැජිණ
Source – wikipedia.org
ලංකාවේ මුල්ම මුද්දරයත්, ලෝකයේ මුල්ම මුද්දරයත් නිකුත් කරන්නේ බ්‍රිතාන්‍යයෝ තමයි. හැබැයි මේ මුද්දර දෙකේම වැඩි වෙනසක් නැහැ. ඉංග්‍රීසීන් මේ මුද්දරේට කිව්ව ‘පෙනී බ්ලැක්’ කියන එක කළුවා පැන්සේ කියලා තමයි අපේ ඈයෝ හදාගත්තේ. ඉතින් මේ මුද්දරේ ගැන කියන්න ආවේ මේකයි. මේ මුද්දරේ ඉන්නේ වික්ටෝරියා ‍රැජිණ. ඇත්තටම ලංකාවේ ඉංග්‍රීසීන් ගෙනියපු යටත් විජිත පාලනය ගැන කතා කරනකොට සෑහෙන්න අහන්න ලැබෙන්නේ වික්ටෝරියා ‍රැජිණගේ නම තමයි. වික්ටෝරියා ‍රැජිණගේ දියමන්ති ජුබිලිය සැමරුමත් එක්ක යටත් විජිත වලත් මහ ඉහළින් සැමරුම් උත්සව තියන්න ඒ ඒ යටත් විජිත ආණ්ඩුකාරවරු කටයුතු කළා. ඉතින් වික්ටෝරියා ‍රැජිණගේ දියමන්ති ජුබිලිය සිහිපත් කරලා හදපු වික්ටෝරියා ප්‍රතිමාවක් තිබුනා ගෝර්ඩන් උද්‍යානයේ. ඓතිහාසික වටිනාකමක් තියෙන මේ ප්‍රතිමාව දැන් තියෙන්නේ ආනන්ද කුමාරස්වාමි මාවතේ. ලංකාවේ යටත් විජිත සමයේ සාමාන්‍ය ජනතාව අතරත් ජනප්‍රිය වුණු පාඨයක් තමයි “දෙවියෝ අප ‍රැජිණ ‍රැකගත්වා” නැත්තං “ගෝඩ් සේව් ද ක්වීන්” කියන එක. ඕක පටන් ගන්නෙත් වික්ටෝරියා ‍රැජිණ රාජත්වයට ආවට පස්සෙ තමා.
5. හයවෙනි ජෝර්ජ් රජු
Source – wikipedia.org
හයවෙනි ජෝර්ජ් රජතුමාව ලංකාවට වැදගත් වෙන්නේ, එතුමාගේ කාලේදී ලංකාවට නිදහස ලැබුණු නිසා තමයි. නිදහස ලැබෙන්න කලිනුත් වික්ටෝරියා ‍රැජිණගෙන් පස්සේ පස් වෙනි ජෝර්ජ් සහ හයවෙනි ජෝර්ජ් රජවරු ලංකාවට බොහොම විශේෂ වුනා. උදාහරණයක් විදියට ලංකාවේ තැන් තැන් වල තාමත් දකින්න තියෙනවා හයවෙනි ජෝර්ජ් රජ්ජුරුවන්ගේ සංකේතය තියෙන අර පරණ තාලේ තැපැල් පෙට්ටි එහෙම. එතකොට හයවෙනි ජෝර්ජ් රජතුමාත් ලංකාවට ඇවිල්ලා එහෙම තියෙනවා. නිදහස ලැබුණයින් පසුවත් 1948 දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහි‍ටුවන්න තිබුණු උත්සවේට මේ රජතුමා සහ ‍රැජිණ ඇවිත් ගියා. ඔය පරණ කාසි එහෙම එකතු කරන අයට ඉස්සර තිබුණු සත පහේ කාසියක් හොයාගන්න පුලුවන් නං, ඒකේ අනික් පැත්තේ තියෙන හයවෙනි ජෝර්ජ් රජ්ජුරුවන්ගේ රූපේ දැකගන්න පුලුවන්.