‘මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?’ රැලිය අදයි

‘මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?’ රැලිය අදයි


‘මව්බිම අනතුරේ – මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?’ මැයෙන් පවත්වනු ලබන ජාතික රැලිය අද (18) සවස 3.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය භාවිත කළ ලක්ෂ 58ක ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මීළඟ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ආ යුත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ගොඩනැගීමේ අරමුණින් මෙම රැලිය සංවිධානය කර තිබේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්නැයි සන්ධාන නායකයන්ට බල කිරීම සන්ධානයේ අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට බල කිරීම, මෙම රැලියේදී සිදුවන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහ ‍ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.

එමෙන්ම තමන්ගේ මෙම ක්‍රියාදාමයේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම නොව ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීම බවද ඔහු පැවසීය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පිවිතුරු හෙළ උරුමයේ මහ ‍ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම කලාකරුවන්, විද්වතුන් සහ මහා සංඝරත්නය මෙම රැලිය ඇමතීමට නියමිතය.