බිග් මැච් අතරවාරයේ කලහකාරිව ලෙස හැසිරෙන සිසුන්ට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට නියෝග


පාසල් අතර පැවැත්වෙන මහා කි‍්‍රකට් තරග අතරවාරයේ කලහකාරිව හෝ සෙසු අයට අවහිරවන පරිදි හැසිරෙන සිසුන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සියළුම පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබෙනවා.

කොළඹ නගරයේ හා තදාසන්න ප‍්‍රදේශයන්හි බාලිකා පාසල් අසල විශේෂ කණ්ඩායම් යෙදවීමටද පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි කියාසිටියේ.

ඇතැම් නිලධාරීන් නිල ඇදුමෙන්ද සෙසු නිලධාරීන් සිවිල් ඇදුමෙන්ද රාජකාරියේ යෙදී සිටිනවා.

ආවේක්‍ෂණ කැමරා පද්ධති සහිත විශේෂ වාහනද මෙම රාජකාරී සදහා යොදවා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර බොරැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ බාලිකා පාසලකට අනවසරයෙන් ඇතුළු වූ බවට සැකපිට ඊයේ අත්අඩංගුවටගත් කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිරිමි විද්‍යාලයක උසස් පෙළ සිසුවා පරිවාස භාරයේ තැබීමට අධිකරණය අද නියෝග කළා.

කිරිබත්ගොඩ මාකොළ ප‍්‍රදේශයේ පරිවාස මධ්‍යස්ථානයක ඔහු රදවන ලෙසයි එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.