තීරණාත්මක සාකච්ඡාව ගැන කාලෝ ෆොන්සේකා කරුණු පහදයි


මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණාත්මක රැස්වීමක් තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා නෙත් නිවුස් වෙත කියා සිටියේ සෑම මසකම පැවැත්වෙන එම සභාවේ නිල රැස්වීම අද පස්වරු එකට ආරම්භ වන බවයි.
මහජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව කැපවී සිටින බවද මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැඩිදුරටත් සදහන් කළා.

එහිදි ඔහු සඳහන් කළේ “මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිදාරීන්ගේ සායනික පුහුණුව අතිශ්‍ය දුර්වලයි කියලා තියෙනවා. ඒ නිසා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසු නැති බවයි නිර්දේශ කරලා තියෙන්නේ. එතකොට උසාවිය කියනවා නම්.. නැහැ…කොන්දේසි අනුව කළ යුතුයි කියලා..මහජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ අපිට තිබෙන වගකීම මොකක්ද?.” යනුවෙනි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව රෝගීන්ගේ අයිතිවාසිකම් සහ වෛද්‍ය වෘත්තියේ ගරුත්වය ආරක්ෂා වන තීරණයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම අධිකරණයට අපහාස කිරීමක් නොවන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැවසුවේ වෛද්‍ය සභාව මීට පෙර දැරූ ස්ථාවරය වෙනස් කර ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවයි. කුමන බලපෑම් හමුවේ වුවද ස්ථාවරය වෙනස් නොකරන්නැයි වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.