ජනපති වූ පසු විඳසන පළමු ප්‍රශ්ණය ගැන ජනපති මහින්ද හෙළි කරයි

ජනපති වූ පසු විඳසන පළමු ප්‍රශ්ණය ගැන ජනපති මහින්ද හෙළි කරයි


වසර 24ක් තිස්සේ යාපනයේ සුබසාධන කඳවුරුවල ජීවත්වන ජනතාවගේ ගැටලුව විසඳීමට පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා සහ යාපනය සුබසාධන කඳවුරුවල ජීවත්වන ජනතාව අතර හමුවක් 18 වැනිදා පස්වරුවේ යාපනයේදී පැවැත්වුණු අතර එහිදී ඔවුන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

“මම පොරොන්දු වුණ විදියට දැන් යුද්දේ ඉවරයි. අවුරුදු 24ක් ඔබ ඉන්නේ කඳවුරේ  මම තමුන්නාන්සේලාට බොරු පොරොන්දු දෙන්න කැමති නෑ. ඔබ මාව විශ්වාස කරන්න ඕන. මම ඔබව විශ්වාස කරන්න ඕන. මම ජනාධිපති වෙලා මේ යාපනේ පළමු ප්‍රශ්ණය ඔබේ ප්‍රශ්ණය තමයි විසඳන්නේ ඒක නිසා මීට වඩා කියන්නේ නෑ.“ යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ත‍්‍රස්තවාදයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කළ අයුරින්ම මෙම ජනතාව ද පදිංචි කරවීමට රජය පසුගිය කාලය තුළ උත්සාහ ගත්ත ද ඔවුන්ගේ ම ඇතැම් නායකයන්ගේ කි‍්‍රයාකලාපයන් නිසා එම උත්සාහය ව්‍යාර්ථ වූ බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එම නායකයන් මෙම ගැටලුව ජාත්‍යන්තර ගැටලුවක් බවට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර එය ජාත්‍යන්තර ගැටලුවක් නොව අපේ රටේ ගැටලුවක් බව ද අපේ රටේ ගැටලු විසඳිය යුත්තේ ජාත්‍යන්තරය නොව අප සියලු දෙනා බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

කියන දේ කරන, කරන දේ කියන නායකයකු වශයෙන් මෙම ගැටලුව විසඳීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලඥයන්ගේ බොරු ප‍්‍රචාරවලට නොරැවටී තමන් පිළිබඳ විශ්වාස තබා කටයුතු කරන ලෙස ද එම ජනතාවට පැවසීය.

1999 වසරේ සිට මෙම ජනතාව මෙලෙස සුබසාධන කඳවුරුවල ජීවත්වන අතර එම ගැටලුවට මැදිහත්වීමට ඔවුන්ගේ කිසිදු නායකයකු ඉදිරිපත් නොවිනි.

අධික වැසි කාලයට එම කඳවුරු ජලයෙන් යටවන බව ද මෙහිදී එම ජනතාව ජනාධිපතිවරයා සමඟ පැවසූ අතර ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.