චන්දිකගේ නික්ම යාමේ තීරණයට බංග්ලාදේශය කම්පා වෙයි


චන්දික හතුරුසිංහ, බංග්ලාදේශ ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහ එරට ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි කම්පනයට හේතු වී ඇති බව වාර්තා වනවා.මීට මාසයකට පමණ පෙර දකුණු අප්‍රිකානු චාරිකාවේදී හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙනු ලැබූව ද කණ්ඩායමේ සාමාජිකයන්ට සහ ක්‍රීඩාලෝලීන්ට ඒ බව දැන ගැනීමට ලැබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදියි.නොවැම්බර් 15 වැනිදායින් පසු බංග්ලාදේශයට පැමිණ ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි හතුරුසිංහ දැනුම් දී ඇත්තේ.2014 වසරේදී හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා යෝජනා කළ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ කලීඞ් මහමුද් කියා සිටියේ හතුරුසිංහගේ ඉවත්වීම තමා විස්මයට පත් කළ බවයි.ඔහු බංග්ලාදේශ පිළේ හිටපු නායකයෙකු ද වනවා. මේ අතර, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධාන තීරක ෆාරුක් අහමඩ් කියා සිටියේ හතුරුසිංහ ඉල්ලා අස්වූ කාලවිරාමය පිළිබඳව ගැටළුවක් පවතින බවයි.ඔහු 2019 ලෝක කුසලානය දක්වා බංග්ලාදේශය රැගෙන යාමට ගිවිස ගත් පුහුණුකරුවෙකු මෙන්ම ලොව වැඩිම මුදලක් ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ද ෆාරුක් අහමඩ්, හතුරුසිංහ හඳුන්වා තිබෙනවා.මේ අතර බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය සඳහන් කළා.හතුරුසිංහ මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ දැඩි අවධානයක් යොමුව ඇති බවත් එම වාර්තා වල සඳහන් .ඊට අමතරව එම තනතුර භාර ගැනීම පිලිබඳ, ඕස්ට්‍රේලියාවේ ජෙෆ් මාෂ්, ඩීන් ජෝන්ස් සහ එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් යන පුහුණුකරුවන් ගෙන්ද විමසීම් සිදුකර තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල නිලධාරියෙක් හිරු ස්පෝර්ට්ස් වෙත පැවසුවේ මෙම සියලු පුහුණුකරුවන් අදාළ තනතුර භාර ගැනීමට පෙර තමන්ට අවශ්‍යතාවක් ඇති වූ විට ගිවිසුමෙන් බැහැරවීමේ කොන්දේසියක් අවශ්‍ය බවට දැනුම් දී ඇති බවයි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව ලබන ජනවාරි මාසය වන විට පිරවීමට නියමිතයි.