අයිස් හංගන් ලංකාවට ආපු ඉන්දියානුවන් දෙදෙනා ගුවන්තොටේදී කොටුවේ


අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිටි පැමිණි අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඇඳුම් තුළ සූක්ෂම ලෙස සඟවාගෙන සිටියදී අදාළ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
එහිදී ඔහු සතුව තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අදාළ මත්ද්‍රව්‍ය ඔහුට ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ඔහු සතුව තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ද පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යාංශය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 41 හැවිරිදි සහ 44 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි.
ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.